Home / General Knowledge / එන්ජින් ඔයිල් සහ ෆිලටරය ගෙදරදීම මාරු කරමු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

එන්ජින් ඔයිල් සහ ෆිලටරය ගෙදරදීම මාරු කරමු

එන්ජිම ලෙඩ නොදී සුමටව ධාවනය කරවීමට නම් එන්ජින් ඔයිල් සහ ෆිල්ටරය නිසි කලට මාරු කර යුතුය.

වාහනය පදින්න පදින්න එන්ජිම ඇතුලේ එහෙ මෙහෙ යන තෙල් කාලයත් එක්ක ජරා වෙනවා. පිස්ටන් උඩ පහල යනකොට හැදෙන කාබන් සහ අංශු ප්‍රමාණයේ ලෝහ කොටස් ඔක්කොම එකට කලවම් වෙලා මේ එන්ජින් ඔයිල් ජරා වෙන්න පුළුවන්. එවිට ආපසු එන්ජිම ඇතුලට යන්නේ ජරා තෙල්. මේ තෙල් සියයට සියයක්ම නැවත පිරිසිදු කරන්න බැරි හින්ද කරන්න තියෙන එකම දේ තමයි තෙල් උපරිමේටම ජරා වෙන්න කලින් මාරු කරන එක. තෙල් විතරක් කරලා මදි, ෆිල්ටර් එකත් මාරු කරන්න ඕනේ.

තෙල් මාරු නොකරොත්?

ජරා තෙල් හොඳ තෙල් වලට වඩා බෙහෙවින් උකුයි. තෙල් වලින් කරන්නේ එන්ජිම ඇතුලේ ගර්ෂණය අඩු කරලා කොටස් එහෙ මෙහෙ වන එක ලෙහෙසි කරන එකනේ. උකු බැවින් වැඩි ජරා තෙල් වලින් මේ වැඩේ හරියටම කරන්න අපහසුයි. ඒ නිසා එන්ජිමට හානි වෙන්න පුළුවන්. කාලයත් එක්ක එන්ජිමේ සද්දෙත් වැඩි වෙන්න පුළුවන්.

තෙල් වෙනස් කරන්න ඕනේ කොච්චර කාලෙකට සැරයක් ද?

මේක ඔබ දාන තෙල් ජාතිය අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් සෑම කිලෝමිටර 1500 කට සැරයක්ම තෙල් මාරු කරනවා නම් හොඳයි. එත් කලින් මාරු කරපු දවස අමතක නම් මොකද කරන්නේ? තෙල් වල පාටින් අපිට පුළුවන් තෙල් මාරු කරන්න ඕනද නැද්ද කියල කියන්න. තෙල් බලන කූර එලියට අරන් බලන්න තෙල් වල පාට කොහොමද කියල. තද දුඹුරු හෝ කළු පැහැයක් නම් තෙල් මාරු කරන එක හොඳයි. හොඳ තෙල් සාමාන්‍යයෙන් විනිවිද පෙනෙන රත්තරන් පාටක් ගන්නවා.

වැඩි දුර යන්නේ නැතිව අපි බලමු කොහොමද තෙල් ටික මාරු කරගන්නේ කොහොමද කියල..

වැඩේට මේ බඩු මුට්ටු ටික අවශ්‍යයි.

  • ප්‍රමාණවත් තරම් අලුත් එන්ජිනේ ඔයිල් සහ අදාළ වර්ගයේ ඔයිල් ෆිල්ටර් එකක්.
  • ස්පැනර් එකක් සහ සොකට්.
  • පරණ තෙල් බිමට වටෙන් එක වැලක්වීමට කපාගත් ගැලුමක් සහ ඊට යටින් දැමීමට ඉටි කොලයක්.
  • අවශ්‍ය නම් අත්වැසුම් කට්ටලයක්.
  • පුනිලයක්.
  • ප්‍රමාණවත් තරම් රෙදි කඩමලු කැබලි.

දැන් වැඩේ පටන් ගනිමු.

වාහනය මුලින්ම ගිහින් සමතලා තැනක නවත්තල යටින් ඉටි රෙද්දයි, පරණ තෙල් ඉවත් කරන්න ගන්න ගැලුමයි තියා ගන්න. අවශ්‍ය නම් ජැක් එකක් ගහල පොඩ්ඩක් වාහනය උස්ස ගන්න. හෑන්ඩ් බ්රේක් ගහල, අවශ්‍ය නම් තවත් ලී කොට දෙක තුනකුත් අඩේට තියන එක ආරක්ෂාවට හොඳයි.

එන්ජින් ඔයිල් මාරු කරන්න එන්ජිම තරමක් රස්නෙන් තිබෙන්න ඕනේ. ඒ සඳහා විනාඩි 5ක් පමණ එන්ජිම ක්‍රියාත්මක කරලා තියන්න. නමුත් ඉතා තද රස්නෙන් යුක්ත වුනොත් උණුසුම් තෙල් වලට අත පිච්චෙන්නත් පුළුවන්.

ප්‍රමාණවත් තරම් උණුසුම් උනාට පසුව, බොනට් එක ඇරලා තෙල් දාන මුඩිය සම්පුර්ණයෙන්ම විවෘත කරන්න. මේක විවෘත කරලා තැබුවාම, යටින් තෙල් ඉවත් කරන්න පහසුයි.

ඉන්පසුව එන්ජිම යටට රිංගල, ඔයිල් ප්ලග් එක සොයා ගන්න. මේක තියෙන්නේ එන්ජිමේ ඔයිල් සම්ප් එකේ යටම කොටසේ. පොඩි බෝල්ට් ඇනයක් වගේ එකක් දැකගන්න පුළුවන් වේවි. මේක සමහර විට තවත් ප්ලාස්ටික් හෝ ලෝහ අවරනයකින් වැහිලා තිබෙන්න පුළුවන්.

ඉන්පසුව, ප්‍රමනවත් තරම් සොකට් එකක් තියල මේ ඇණය පොඩ්ඩක් වෙන්න බුරුල් කර ගන්න. ඒ අතරවාරේ ගැලුම එහෙ මෙහෙ කරලා ඔයිල් ප්ලග් එකට කෙලින් යටින් තියාගන්න.  ගොඩක්ම බුරුල් කරොත් වක්කඩ කැඩුව වගේ තෙල් ටික එක පාරට වැටෙන්න පුළුවන් හින්ද තරමක් බුරුල් කරලා තෙල් හෙමින් සීරුවේ වැටෙන්න දෙන්න. තෙල් ටික හරියට ගැලුමට වැටෙනව කියල ෂුවර් උනාම ඇණය සම්පුර්ණයෙන්ම ගලවල දාල තෙල් ටික ඔක්කොම යන්න දෙන්න.

සාමාන්‍යයෙන් විනාඩි දෙක තුනකින් ඔක්කොම තෙල් ටික යාවි.

මීළඟට කරන්න ඕන ෆිල්ටර් එක මාරු කරන එක.

ෆිලට්ර එක තිබෙන තැන වාහනයෙන් වාහනයට වෙනස් වෙන්න පුළුවන්. අලුත් ෆිල්ටර් එක දිහා බලල ඊට සමාන දෙයක් තියෙන්නේ කොහෙද කියල ෆිල්ටර් එක තිබෙන තැන සොයා ගන්න.

තිබෙන තැන අනුව එය ගැලවීම අපහසු විය හැකියි. ෆිල්ටරය වට කිහිපයක් අතින් වමවර්තව කරකවිමෙන් ගලවගන්න පුළුවන්. එය ඉතා තද නම් රෙන්ච් එකක් යොදා ගන්න සිදු වේවි. ෆිලටරය සමග එය එන්ජිමට සවි වී තෙබෙන රබර් සිල් එකත් ගලවාගත යුතුයි. නැත්නම් අලුත් ෆිල්ටරේ සවි කරන්න ප්‍රමාණවත් ඉඩ නොතිබෙන්න පුළුවන්.

මේක ගලවනකොට මේකෙන් එන්ජින් ඔයිල් හැලෙන්නත් පුළුවන්.

ඉන්පසු අලුත් ෆිල්ටර් එක සවි කරගන්න. මුලින්ම අලුත් ෆිලට්ර් එකත් එක්ක එන රබර් සීල් එකෙ අලුත් එන්ජින් ඔයිල් ටිකක් ගාගන්න. එවිට ෆිලටර් එක එන්ජිමට හොඳට සීල් වෙලා හිටිනවා. ඊට පස්සේ ෆිල්ටර් එක එන්ජිමට තියල පුළුවන් තරම් ඇඟිලි වලින් කරකවන්න. අපහසු උනාම, අතින් නැවතත් වට භාගයක් පමණ කරකවන්න. එවිට ෆිල්ටර් එක හරියටම සෙට් වේවි.

ඇතැම් ෆිල්ටර් වල නම් කොපමණ වට ගාණක් කරකවන්න ඕනද කියල දක්වල තිබෙන්න පුළුවන්. එවිට ඒ උපදෙස් අනුගමනය කරන්න.

ඊළඟට ඔයිල් ප්ලග් එක නැවතත් සවි කරගන්න. ඇතැම් බාසුන්නැහේලා නම් කියන්නේ මේකේ රබර් වොෂර් එකක් තිබෙනවා නම් එකත් මේ වෙලාවේදී මාරු කරගන්න කියල. ප්ලග් එක හොඳට තද උනාට පස්සේ කරන්න තියෙන්නේ අලුත් තෙල් වලින් එන්ජිම පුරවන එකයි. නමුත් ඊට කලින් අර යට තියෙන පරණ තෙල් ටික ඉවත් කරන් ඉන්න ඕනේ.

මීළඟට අලුත් තෙල් ටික පුනීලය ආධාරයෙන් එන්ජිමට දාගන්න. විටින් විට කූර එලියට අරගෙන  තෙල් මට්ටම පරික්ෂා කරන්න. අඩු වැඩිය මේ විදියට පුරවල මුඩිය හොඳින් වසාදමන්න.

අවසානයේ කරන්න තියෙන්නේ වාහනය පණ ගන්වල විනාඩි 5ක් විතර තියන එක. මේකෙන් එන්ජිම ඇතුලේ තෙල් පීඩනය එක නැවත ගොඩනගන්නත්, ලීක් මොනවහරි තියෙනවා නම් ඒ ටික බලාගන්නත් පුලුවන් වෙනවා. යට ලීක් එකක් තිබුනොත් ආපහු යටට ගිහින් අර ඇණය හොඳින් තද කර ගන්න.

ඔන්න ඕකයි කතන්දරේ. මේ විදියට තෙල් ටික ගෙදර ඉඳන් මාරු කරගන්න පුළුවන් නම් සෑහෙන ගානක් ඉතුරු කරගන්නත් පුළුවන්. තෙල් ටිකත් හෝල් සෙල් මිලටම ගන්න පුළුවන් තැනකින් ගත්තොත් තව ගානක් ඉතුරුයි. ඒ වගේම මේ වගේ දෙයක් තනියම කර කියල හිතට දැනෙනකොට දැනෙන සතුට කියල නිමකරන්නත් බැරි වෙයි.

මේ අතර වාරේ අර පරණ තෙල් පරිස්සමට බැහැර කරගන්න එකත් කරන්න ඕනේ. ජල මාර්ග, කානු වලට වගේ දාන්න එපා කියලත් මතක තියාගන්න.

About Admin

Check Also

how to change radiator coolant

රේඩියෙටර් සිසිලනකාරකය ගෙදරදීම මාරු කරමු.

වාහනයක එන්ජිම ඕනවට වඩා රත් වෙන්න නොදී හරි උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න දායක වන ප්‍රධානම උපාංගය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *