Home / General Knowledge / රේඩියෙටර් සිසිලනකාරකය ගෙදරදීම මාරු කරමු.
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

රේඩියෙටර් සිසිලනකාරකය ගෙදරදීම මාරු කරමු.

වාහනයක එන්ජිම ඕනවට වඩා රත් වෙන්න නොදී හරි උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න දායක වන ප්‍රධානම උපාංගය තමයි රේඩියෙටරය කියන්නේ. මේකේ තියෙන සිසිලනකාරකය එහෙමත් නැත්නම්, කූලන්ට් එක එන්ජිම හරහා ගිහින් ඒ තාපය ලබාගෙන නැවත රේඩියෙටරය තුලදී පිටතට මුදා හරිනවා. කාලයත් එක්ක රේඩියෙටරය තුල විවිධ අපද්‍රව්‍ය එක්රැස් වෙන්න පුළුවන්. මෙහෙම උනාම සිසිලනකාරකයේ ක්‍රියාකාරිත්වය ඇණ හිටින අතර එන්ජිමේ යහපත් ක්‍රියාකාරීත්වයට ද බාධා එල්ල වෙනවා.  අන්තිමේදී වෙන්නේ එන්ජිම හේතුවක් නැතුව රත් වෙන එක හා  පෙට්‍රල් හෝ ඩිසල් වැඩියෙන් පිච්චෙන එකයි. එනිසා රේඩියේටර් සිසිලනකාරකය අඩුම තරමින් අවුරුදු 2ක කට සැරයක්වත් මාරු කරලා නිසි ලෙස පවත්වාගෙන යාම ඉතා වැදගත් දෙයක්.

සිසිලනකාරකය මාරු කරන්න ඕනේ එන්ජිම සිසිල් වෙලා තියෙන වෙලාවට. නැත්නම් ඉතා අධික උෂ්ණත්වයේ තියෙන සිසිලනකාරකය එක ඉවත් කරන්න ගිහින් පිළිස්සුම් තුවාල ඇති වෙන්න පුළුවන්.  සාමාන්‍යයෙන් එන්ජිම ඕෆ් කරලා පැය දෙකක් වගේ ගියාම එන්ජිම සිසිල් වෙනවා. යතුර ඕන් කරලා උෂ්නත්වමාපකයේ උෂ්ණත්වය බින්දුව ගානටම අඩු වෙලාද කියල බලල ඉන්න එක කෝකටත් හොඳයි.

සිසිලනකාරකය මාරු කරන්න නම් අපිට වාහනේ යට රිංගන්න වෙනවා. ඒ නිසා, අවශ්‍යයි කියල හිතනවා නම් විතරක් ජැක් එකක් ගහල ඉස්සරහින් පොඩ්ඩක් උස්සල තියා ගත්ත නම් රිංගන එක ලේසියි.

ඊට පස්සේ බොනට් එක ඇරලා, රේඩියෙටරයට සබන් වතුර ටිකක් ඉහලා පිරිසිදු කරගන්න. බ්‍රෂ් එකක් අරන් උඩ ඉඳන් පහළට රේඩියෙටරයට හානි වෙන්නේ නැති වෙන්න පිසදාල එකේ බැඳිලා තියෙන අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කරගන්න. මේ වෙලාවට කරේ නැත්නම් ආයේ කවදාවත් කරන්න වෙලාවක් එන්නේ නැති වෙයි. එත් සමහර විටෙක වායු සමීකරණයේ කන්ඩෙන්සර් එක මේ රෙදියෙටරේ ඉස්සරහින් පිහිටලා තියෙන්න පුළුවන්. එහෙම වෙලාවට සුද්ද කරන වැඩේ අපහසු වෙන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි, රේඩියෙටරය මලකඩ කාල තියෙනවද, කාන්දු වීම මොනවහරි තියෙනවද කියල සැලකිලිමත් වෙන්න ඕනේ.

රේඩියේටරය සම්බන්ධව වැඩි දුර තොරතුරු දැන ගැනීමට රේඩියෙටරය සම්බන්ධ ව ලියවුනු ලිපිය කියවන්න.

දැන් මැද්දෙන් කපාගත්තා ගැලුමක් හෝ බේසමක් වගේ භාජනයක් හෝ රේඩියෙටරය යටින් බිමින් තියාගන්න. ඊට පස්සේ රේඩියෙටරය යටට රිංගල බලන්න එකේ යටම කෙලවරේ කොහේ හරි පොඩි බෝල්ට් ඇනයක් වගේ එකක් තියෙනවද කියල. ඒ ඇණය වගේ එක තමයි එතන තියෙන්න පුළුවන් එකම ගලවන්න පුළුවන් බෝල්ට් එක. අර බේසම දැන් මේ ඇණය යටින් තියල අඬුවක්  අරගෙන ඒක හෙමීට බුරුල් කරගන්න. එතකොට සිසිලනකාරකය හෙමින් සීරුවේ බිමට වෑස්සෙන්න පටන් ගනියි.

ඔහොම ටිකක් වෙලා යනකොට සිසිලනකාරකය බිමට වෑස්සෙන එක නතර වේවි. එත් තවමත් රේඩියෙටරය සහ එන්ජිම ඇතුලේ සිසිලනකාරක විශාල ප්‍රමාණයක් (30%-40%) ඉතුරු වෙලා තියෙන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ සිසිලනකාරකය වෑස්සෙන එක නතර උනාම අපහු අර ඇණය අරන් රේඩියෙටරයට සවි කරන එක. දැන් පුනීලයක් තියල රේඩියෙටරයේ බෝතලය එහෙමත් නැත්නම් රෙසර්වොයර් ටැංකියට ජලය පුරවන්න ඕනේ. මේකට ආසෘත ජලය දානවනම් වඩා හොඳයි. මේ විදියට ටැංකියේ සඳහන් කරලතියෙන උපරිම මට්ටමට එනකන් ජලය පුරවගන්න. ඊට පස්සේ මුඩිය වහල එන්ජිම ස්ටාර්ට් කරලා විනාඩි 10 ක් විතර ස්ටාර්ට් එකේ තියන්න.

ඔය අතර වාරයේ කාර් එකේ වායු සමීකරණයේ තියෙන හීටර් එක සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරවන්න. එතකොට රේඩියේටර් පද්ධතියේ  වායු බුබුළු තියෙනවනම් ඒවත් හොඳට ඉවත් වෙලා යනවා.

විනාඩි 10කට විතර පස්සේ අයෙත් අර රේඩියෙටරයේ පිටාර ඇණය ගලවලා සිසිලනකාරකය සහ අපි දාපු ජලය ඉවත් වෙන්න දෙන්න. සිසිලනකාරකය සාමාන්‍යයෙන් කොළ පාටක් හෝ රතු පාටට හුරු පාටක් ගන්නේ. රේඩියෙටරයේ තිබුණු ජරාවත් එක්ක මේක බොර පාටට පිට වෙලා යාවි.

මේ පිටවන ජලයේ බොර පාට නැතිවෙලා, පැහැදිලි අවර්ණ ගතියක් එනතුරු මේ විදයට ඇණය ගලවලා වතුර යන්න දීල ආයේ වතුර පුරවලා එන්ජිම ස්ටාර්ට් කරලා තබන ක්‍රියාවලිය කිහිපවාරයක් කරනන් වේවි. මේ අතර වාරයේ ඔබට අවශ්‍ය නම් රේඩියෙටර් ෆ්ලශ් කරන්න ගන්න කෙමිකල් එකකුත් ජලය දානකොට ඒකත් එක්කම ඇතුලට දාගත්තනම් රේඩියෙටරය පිරිසිදු වෙන වේගය වැඩි කරගන්න තිබුන.

මෙහෙම කරලා අවසානයේ රේඩියේටරයෙන් පිටවන වතුරේ පාට පැහැදිලි උනාම අර ඇණය ආපහු හොඳින් තදකරගන්න.

ඊට පස්සේ මේකට අපි අපහු කූලන්ට් එක පුරවන්න ඕනේ. තනිකරම කූලන්ට් වලින් පුරවනවට වඩා ජලය සහ කූලන්ට් 1:1 අනුපාතෙට මිශ්‍ර කරගන්නවානම් වඩා හොඳයි. ඒ සඳහා බාල්දියකට කූලන්ට් සහ වතුර දාල කලවම් කරගෙන ඊට පස්සේ රේඩියෙටරයට පුරවගන්න. නමුත් මෙහි දී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි තවමත් රේඩියෙටරය ඇතුලේ වතුර 30%-40%ක ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන විත්තිය. ඒ නිසා බාල්දියට දාන කොට වතුර 20% කුයි, සිසිලනකාරක 80% කුයි  වගේ අනුපාතෙට දාල කලවම් කරගන්න.

දැන් ඊට පස්සේ පුනීලයක් තියල රේඩියේටර බෝතලේ උපරිම සීමාව දක්වා මේ ජලය පුරවගන්න. එත් මෙහෙම පිරෙවුවට ඇතුලේ තියෙන වායු බුබුළු නිසා සම්පුර්ණයෙන්ම  සිසිලනකාරක පිරවෙන්නේ නැහැ. ඒ නිසා ගිහින් එන්ජිම ස්ටාර්ට් කරන්න. එවිට වායු බුබුළු ඉවත් වෙලා තව සිසිලනකාරක සහ ජලය මිශ්‍රණය දමන්න අවශ්‍ය වේවි. ඔය අතර වාරයේ රේඩියේටරයට සවි කරලා තියෙන බට අතින් සොලවලා වායු බුබුළු යවන්න. ඔහොම කරන ගමන් බෝතලයේ උපරිම මට්ටම දක්වා සිසිලනකාරකය පුරවාගන්න.

ඊට පස්සේ රේඩියේටරයේ බෝතලයේ මූඩිය වහල යට ඇණයත් හොඳට වැහිලද කියල බලල රේඩියේටරයේ කොහෙන්වත් සිසිලනකාරක කාන්දු වෙන්නේ නැති බවට සැලකිලිමත් වෙන්න.

එමෙන්ම වාහනේ උෂ්නත්වමාපකයේ උෂ්ණත්වය වෙනදා මෙන්ම නියමිත උෂ්ණත්වය පෙන්වන බවටත් එය වාහනය වැඩියෙන් රත් වීමක් නොපෙන්වන බවටත් වග බලාගන්න.

රචනය දේශාන් වලල්ලාවිට විසිනි.


 

 

කතුවරයාගේ හෝ වෙබ් අඩවියේ හෝ ලිඛිත අවසරයකින් තොරව වෙනත් කිසිදු මාධ්‍යයක උපුටා පළ කිරීම සපුරා තහනම් වේ. එසේ කරන්නන් හට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

About Admin

Check Also

යතුර කැරකෙන්නේ නැත්තේ ඇයි?

සමහරක් වෙලාවට යතුර මුළු ඇගේම වීරිය අරන් කැරකුවත් කැරකෙන්නේ නෑ. හරියට නිකන් හෙන ගැහුවා වගේ …