Home / Electric System / දැනගෙන සිටිය යුතු ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් 6ක්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

දැනගෙන සිටිය යුතු ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් 6ක්

ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ සමහර මරාල කඩා පාත් වෙන්නේ පිට පිට. ඒ වගේම තමයි සමහර ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් ලයිට් දැල්වෙන්නේත් කොහේ හරි හදිස්සි වැඩකට යන්න හදනකොටමයි. ඕවයින් සමහර  ඒවා නම් පොඩ්ඩකට අමතක කරලා දාන්න පුළුවන් උනත් හැම එකක්ම එහෙම බෑ. අනිවාර්යෙන්ම ඒකට යොමු වුනේ නැත්නම් ලොකු වියදමක්  යන නඩත්තුවක්, අනතුරකට අත වැනීමක් හෝ රස්තියාදුවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අනිවාර්යෙන්ම ඇත ගැසිය යුතු තොරතුරැ පෙන්නුම් කරන ආලෝක සංඥා 6කට තමයි අද රෝදහතර වෙන් වෙන්නේ.

 

නමුත් ඊට ප්‍රථමයෙන් එම දෝෂ දර්ශක ආලෝක සංඥා වල වර්ණය ගැනද පොඩි අවබෝධයක් ඔබට තිබිය යුතුයි නේද? ප්‍රධාන වශයෙන් එම ආලෝක සංඥා රතු, තැඹිලි හෝ කොළ වර්ණයන්ගෙන් යුක්ත වේ. හරියට නිකන් ට්‍රැෆික් ලයිට් වගේ.  රතු වර්ණයෙන් ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් හෝ එන්ජිමේ ඇති  බරපතල දෝෂයක්  පෙන්නුම් කරනු ලබන අතර ඒ සඳහා ඉතා ඉක්මනින් යොමු විය යුතු වේ. නැතහොත් විශාල අනතුරු සහ ප්‍රශ්න වලට ඔබට මුහුණ පෑමට සිදු වනු ඇත.

කහ වර්ණයෙන් පෙන්නුම් කරනුයේ වාහනයේ  දෝෂයක් හට ගැනීමට ඉඩ ඇති බවට සහ එය ඉක්මනින් යථා තත්වයට පත් කරගත යුතු බවත්ය.

එසේ වුවද කොළ වර්ණයෙන් එසේ දෝෂයන් පෙන්වනු නොලබයි. එය භාවිත වන්නේ යම් විශේෂ පද්ධතියක් ක්‍රියාත්මකව පවතින බවට රියදුරාට දැනුම් දීමටය. 

1. බැටරි ලයිට්.

බැටරි ලයිට් එක එහෙමත් නැත්නම්, බැටරිය ආරෝපණය වීම පෙන්වන ආලෝක සංඥාව හේතු කිහිපයක් නිසා දැල්වෙන්න පුළුවන්. ගොඩාක්ම වෙලාවට බැටරිය වෝල්ට් 13.5 කට ආරෝපණය වන්නේ නැත්නම් තමයි මේක දැල්වෙන්නේ. එහෙම ආරෝපණය නොවෙන්න හේතු බැලුවොත් බැටරියේ  කේබල් මලකඩ කම, බැටරි වතුර අඩු වීම, බැටරිය පරණ වී තිබීම මෙන්ම ඔල්ටර්නේටරයේ හෝ වෝල්ටීයතා නියාමකයේ (voltage regulator) එකේ පවතින ගැටළුවක් පෙන්වීම වගේ දේවල් වෙන්න පුළුවන්. වාහනය පදවන අවස්ථාවක මේක දැල්වුනොත් බැටරියේ ආරෝපණය තිබෙන තාක් කාල් වහනය ධාවනය වේවි. ඒ අතර එහි වයිපර්, හෙඩ් ලයිට්, නළාව වැනි උපාංග වල ක්‍රියාකාරිත්වය අඩු වෙන්නත් පුලුවන්. මෙවැනි වෙලාවක වාහනයේ එන්ජිම නතර කරොත් අයෙත් පණ ගන්වා ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්. එබවින්ව මෙවැනි අවස්ථාවක වයිපර්, හෙඩ් ලයිට්, රේඩියෝ එක වගේ විදුලිය වැයවන උපාංග ක්‍රියා විරහිත කර ධාවනය කරවන එක වඩා හොඳයි. මෙහෙම වෙලාවක ගොඩක් දුර ගමනක් යන එකෙන් වැළකිලා, හැකි ඉක්මනට ගිහින් බැටරිය හෝ ඔල්ටර්නේටරේ පරික්ෂා කරගන්න එක හොඳයි කියල කියන්නේ දවසක් බදුල්ලේ ඉඳන් බෙන්තර එන ගමන් නිවිතිගල ටවුමේ කාරෙක ඇතුලට වෙලා රෑ ගත කරන්න වුනු අමතක නොවන දිනයක කටුක අත්දැකීමකුත් එක්කයි.

2. බ්රේක් ලයිට්

වාහනේ තිබෙන, උපරිමයෙන්ම අවධානය යොමු කළ යුතු ඒවායින් එකක් තමයි තිරිංග පද්ධතිය කියන්නේ. ඒ නිසා බ්රේක් ලයිට් එක දැල් වෙනවා නම් ටිකක් ප්‍රවේසමෙන් ධාවනය කරන්න ඕනේ. බ්රේක් ලයිට් එක, හෑන්ඩ් බ්රේක් ක්‍රියාත්මක කරවා තිබීම නිසා හෝ බ්රේක් ෆ්ලුයිඩ් අඩු වීම නිසා දැල්විය හැකිය. එනිසා ප්‍රථමයෙන්ම හෑන්ඩ් බ්රේක් එක (පාර්කින් බ්රේක්)  අමතක වෙලා ඇද තියෙනවද බලන්න. එහෙමත් නිවුණේ නැත්නම්, බොනට් එක ඇරලා බ්රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක ඇරලා බ්රේක් ෆ්ලුයිඩ් අඩු වෙලාද කියල බලන්න පුළුවන්. බ්රේක් ෆ්ලුයිඩ් අඩු නම් බ්රේක් වල ක්‍රියාකාරිත්වයට ඒක දැඩි ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් බ්රේක් ෆ්ලුයිඩ් අඩු හරිය නියමිත් පමණට පුරවාගන්න.

3. එයාර්බෑග් ලයිට්

මෙය දැල්වී තිබීමෙන් ප්‍රධානම වශයෙන් වාහනයේ ආරක්‍ෂිත උපාංග දෙකක දෝෂ දැක්වේ.ඉන්මෙ පළමුවැන්න නම් එයාර් බෑග්ස් වල දෝෂයක් විය හැකිය. එනිසා වහාම කාර්මිකයෙකු ලව දෝෂය පරික්ෂා කර ගත යුතුය. අනෙක නම්, සීට් බෙල්ට්ස් සම්බන්ධ දෝෂ වලදීද මෙය දැල්වේ. සීට් බෙල්ට්ස් වල බකල් එකේ කඩදාසි කැබලි වැනි විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය සහ කොන්ඩ කටු ක්ලිප් කටු වැනි දේ ඇමිණී තිබීමෙන්, එය නිසි පරිදි සවි වුවද ස්විච වලට නිසි සම්බන්යධක් නොලැබීම නිසා එයාර් බෑග් බල්බය දැල්වේ. (එයාර් බෑග් නිකන් අහසයි පොළොවයි වගේ හැඟුනාට එයාර් බෑග් වල ආරක්‍ෂිත ක්‍රියාව නිසි පරිදි සිදු වීමට නම් මගියා සීට් බෙල්ට්ද පැළඳ සිටිය යුතුවේ.) එබැවින් මෙම බල්බය දැල්වේ නම් පළමුව සීට් බෙල්ට්ස් වල යම් දෙයක් සිරවී තිබේදැයි පරික්ෂ කර බලන්න.

4. සිසිලනකාරක ලයිට්.

මෙම බල්බය දල්වෙනුයේ එන්ජිමේ සහ රේඩියේටරයේ සිසිලන ක්‍රියාවට උපකාරී වන සිසිලනකාරකය මදි වීම නිසා සහ එන්ජිම අධිකව රත් වීමට ලක් වූ විටය. එන්ජිම ඕනවට වඩා රත් වීමට ඉඩ දීමෙන්, ඊට හේතු කාරක වූ ගැටලුවට වඩා සිය දහස් ගුණයකින් වියදම් යන හානි ක්‍රම ක්‍රමයෙන් සිදු වේ. නිසි ලෙස සිසිල් නොවීම නිසා එන්ජිම රත් වේ නම් එය සීස් වීමට ඉඩ ඇත. තවත් විදියකින් කියතොත් ධාවනය වන අතරම එන්ජිමට හානි වී  වාහනය නතර වීමට ඉඩ ඇත. හයි වේ ගමන් කරන වාහන බොහොමයක මෙය සිදු වනු ඔබ අසා තිබෙනු ඇත. මෙසේ වාහනය සීස් වනුයේ නිකන් නොවේ. ගැස්කට් හානි වී, හෙඩ් සහ බ්ලොක් පැලී, පිස්ටන් රොඩ් ඇද වී අති විශාල හානි සිදු වීමෙන් පසුවය. එබැවින් මෙම ලයිට් එකේ දැල්වීම කිසි විටෙකත් මඟ නොහරින්න.

5. ඔයිල් ලයිට්

ඔයිල් ලයිට් එක හේතු දෙකක් මත දැල්විය හැකිය. එකක් එන්ජින් ඔයිල් අඩු කමය. අනෙක නම් ඔයිල් පීඩනය අඩු කමය. මේ දෙකෙන් කුමක් වුවද අවසාන ප්‍රතිපලය විය හැක්කේ එන්ජිම විශාල හානි රැසක් සමග  අතරමග නැවතීමයි. ප්‍රධාන පාරක තදබදය වැඩි වෙලාවක් උනොත් නම් අනතුරු රැසක් සමග අවටපාත අයගෙන් දොෂාරෝපණාද අඩු නැතුව ඇසිය හැකි වේ. ඒ නිසා, මේ බල්බය දැල්වුනු විටෙක, එන්ජින් ඔයිල් අඩුද කියා බලා අඩුවැඩිය පුරවා ඉතා ඉක්මනින් ඔබේ කාර්මිකයාව හමු වන්න.

6. එන්ජින් චෙක් ලයිට් එක.

මෙය හේතු කිහිපයක් දැල්විය හැකි වුවත් බොහෝවිට දැල්වෙනුයේ ජ්වලන (ignition), ඉන්ධන හෝ වායු විමෝචක පද්ධතිවල ගැටළු නිසාය. එමෙන්ම එම පද්ධතිවල නොවෙන, වෙනත් ස්ථානයක පවතින දෝෂයක් ගැන පරිගණක පද්ධතිය මඟින් ඔබට දැනුම් දෙනවා වුවද විය හැකිය. ඒ නිසා ඔබේ රථයේත් පරිගණක ආශ්‍රිත පාලක පද්ධතියක් තිබේ නම් වාහනය එම පහසුකම තිබෙන ගරාජයක් වෙත ඉතා ඉකමනින් රැගෙන යන්න.

ඔබේත්, රථයේ ගමන් කරන අනෙක් මඟින්ගේත්, පාරේ සිටින අනෙක් රියදුරන්ගේත් ආරක්ෂාව පිණිස යම් දෝෂ දර්ශක බල්බයක් දැල්වුනොත් ඒ සම්බන්ධව හැකි ඉක්මනින් කටයුතු කිරීම ඔබේ වගකීම මෙන්ම යුතුකමද වේ.

About Admin

Check Also

alternator problems - leading automobile magazine sri lanka

ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ

ඩෑෂ්බෝර්ඩ් එකේ දැක්වෙන සරල සංඥාවකින්, ඩිම් වුනු හෙඩ් ලයිට් එකකින් හෝ පන ගැන්වීමට අපහසු අවස්ථාවකින් …