Home / Reviews / Local Cars / ඩොක්ටර් සනී Nissan B13 Review
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ඩොක්ටර් සනී Nissan B13 Review

නිසාන් සනී  යනු  ඔබට හුරුපුරුදු නමක් වනු නිසැකයි. දශක ගණනාවක  සිට ලොව පුරා  ජනතාවගේ ආදරය දිනාගත් මේ මෝටර් රථ පෙලේ එක සුවිශේෂී නාමයක් ගැන කතා කිරීමටයි අද මේ ලිපිය දිගහැරෙන්නේ.  එනම B13 ලෙසින් බෞතිස්ම ලබා තවත් විවිධ අනු නාම යටතේ නිෂ්පාදනය වන නිසාන් සනී මෝටර් රථය ගැනයි. B13 නම ඔබට නුපුරුදු වුනත්, ඩොක්ටර් සනී  නම් හුරතල් නාමයෙන් මෙය ඔබ කනවැටි ඇති බව නම් නිසැකයි.

වර්ෂ 1990 සිට මේ දක්වාම නිපදවෙන මෙම B13 රථය, නිසාන් වර්ගයේ රථ වලින් වැඩියෙන්ම විකිණී ඇති කාරයකි. මෙය කොතරම් සුපතලද යත්, මෙක්සිකෝවේ මේ වනවිටත් මෙය නිෂ්පාදනය වෙමින් පවතී. හැසිරවීම අතින් ඉතා පහසු, හොඳින් වැඩ ගත හැකි එන්ජිමකින් සමන්විත මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 10ත් 14ත් අතර මුදලකට මිලදී ගත හැකිය.මෙය වත්මන් සනි කාර් රථ වලට පුරෝගාමියා ලෙස සැලකිය හැකිය. රවුම් දාර හා මුළු සහිතව වර්තමානයට බෙහිවින් ගැලපෙන සේ නිෂ්පාදනය වූ මෙහි ඊට සමගාමිව එකළ පැමිණි අනෙකුත් රථ වන ටොයෝටා හා මිට්සුබිෂි වලට වඩා බෙහිවින් ඉදිරියෙන් සිටි.

මෙය විවිධ මදිලිවලින් පැමිණේ. ලංකාව ඇතුළු බොහොමයක් ආසියානු රටවල මෙය හැඳින්වෙන්නේ සනී යන නාමයෙනි. එසේ වුවත් මෙය යුරෝපය  තුළ ප්‍රචලිතව ඇත්තේ සෙන්ට්‍රා  යන නමිනි. ඒ විතරක් නොවේ, මෙක්සිකෝව ඇතුළු ලතින් ඇමරිකාව වැනි රටවල සුරු  යන නමින් මෙය අලෙවි වේ.

මෙහි ස්පෝර්ට්ස් වර්ගයේ දොර දෙක සහිත රථයක් පැමිණෙන අතර එය නිසාන් සෙන්ට්‍රා SE R ලෙස  හැඳින්වේ. ඇමෙරිකානු රටවල බොහොමයක් ඩොක්ටර් සනී  රථ, මෙම දොර දෙක සහිත සෙන්ට්‍රා SE R වර්ගයේ ඒවා වේ.

ලංකාව තුල මෙය ඉතා හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් ඇති රථයකි. මෙය ඩිසල් හා පෙට්‍රල් යන දෙවර්ගයෙන්ම පැමිණින අතර මා දැක ඇති ඒවා නම් බහුතරයක්ම ඩිසල් වේ. එමෙන්ම මෙහි අමතර කොටස් ද බොහෝ වාහන අමතර කොටස් වෙලදසලවළ ඇති අතර මිලෙන් සාපේක්ෂව අඩුය. පෙට්‍රල් රථ වල එන්ජිනේ 1300cc, 1400cc හා 1500cc යන වර්ග වලින් පැමිණේ. ඩිසල් රථ වල එන්ජින් එක බොහෝවිට 1700cc වලින් යුක්ත වේ.

ඩීසල්
පෙට්‍රල්

මෙහි B13 හා FB13 ලෙස දෙවර්ගයක් පවතී. සමහරක් අය ප්‍රකාශ කරන ආකාරයට B13 හි ඇත්තේ 1300cc පෙට්‍රල් එන්ජිමකි. FB13 වර්ගය 1500cc එන්ජිමකි  සහිතය. නමුත් ඇතැමුන් තර්ක කරන්නේ B13 යනු මාදිලිය වන අතර ඒවා 1300 හෝ 1500 cc ලෙස පැමිණෙන බවය. මෙහි ඩිසල් එන්ජිමක් සහිත 1700cc රථය sb13 ලෙස හැඳින්වේ. මීට  අමතරව 1400cc සහිත වර්ගයක්ද පැමිණේ. එය බොහෝ විට බ්‍රෑන්ඩ් නිව් ගෙන්වන ලද රථ වල දැකිය හැකිය.

මෙහි ස්වයංක්‍රීය  හා මැනුවල් ලෙස දෙවර්ගයෙන්ම පැමිණියත් මා පෞද්ගලිකව කැමති මැනුවල් වර්ගයට වේ. ඔටෝ ගියර් රථය ධාවනය පහසු වුවත් පිකප් එක මැනුවල් එකට වඩා අඩුය.

 

 

Auto Gear
Manual

ඩිසල් රථ වල ඒවාටම අවේනික වූ, එන්ජින් ශබ්දයක් තිබෙන අතර එය දෝෂයක් ලෙස නොසැලකේ. මා ද, මාගේ මෝටර් රථයේ ශබ්දය  සම්බන්ධව විමසු විට ගරාජ් බාසුන්නහේ පැවසුවේ, ඩිසල් රථ වල මෙම ශබ්දය තිබෙන බවයි. නමුත් පෙට්‍රල් රථ වල නම්, එන්ජින් ශබ්දය ඉතා අඩු වේ.

හොඳින් නඩත්තු කරන ලද ඩොක්ටර් සනි රථයක් ලිටරයට් කිලෝ මීටර් 15-18ක් පමණ වැඩ කරන අතර වායු සමීකරණය සහිතව එය 12-13ක පමණ වැඩ කරයි. පිකප් එක අතින් වුවත් ඩොක්ටර් සනි ඉතා හොඳ වේ.

ඩොක්ටර් සනි රථ වල සාපේක්ෂව නඩත්තු වියදම ඉතා අවම වන අතර, අතරමගදී මග හිටීමේ අවධානමද ඉතා අඩු බව මා අත්දැකීමෙන්ම දනිමි. කොහේ ගියත් බය නැතුව ගෙදරටම එන්න පුළුවන් මෝටර් රථයක් වන අතර, පොළොන්නරුවේ සිට කොළඹ දක්වා රේඩියේටර් එකේ තදබල ලීක් එකක් සහිතව ධාවනය කරගෙනම පැමිණි කෙනෙකු ගැන ද මම දනිමි.

හොඳින් නඩත්තු කරන ලද රථයක් නම් අවම වශයෙන් පැයට කිලෝ මීටර් 150කට අධික වේගයකදී වුවද ස්ථාවර වන බව මා හොඳින් දන්නා දෙයකි.

මෙහි EX Saloon සහ Super Saloon ලෙසින් වර්ග දෙකක් තිබේ. EX හි නැති අංගෝපාංග බොහෝ ගණනක් සුපර් සැලුන් හි තිබේ. ඒවායින් සමහරක් නම් පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, පවර් ඇන්ටෙනා, පිටුපස නැවිය හැකි හෙඩ් රෙස්ට් සහිත පිටුපස ආසන ආදිය වේ.

 

එමෙන්ම සුපර් සැලූන් හි මීටර් බෝර්ඩ් එකද වෙනස්ය. Ex-සැලූන් හි RPM මීටර් එකක් නොමැති නමුත්, සුපර් සැලුන් හි RPM මීටර් එකක් තිබේ.

RPM මීටර් නැත
RPM මීටර් ඇත

 

ඒ විතරක් නොවේ, 25th Anniversary Model නම් තවත් වර්ගයක් තිබේ. නිසාන් හි 25 වැනි සංවත්සරය සැමරීමට නිෂ්පාදනය වූ මෙය Ex සැලූන් වර්ගයට අයත් එකකි. නමුත් මෙහි සුපර් සැලූන් එකක ඇති සෑම පහසුකමක්ම ඇති  අතර   එයටම ආවේනික වූ ෆොග් ලයිට්ස් සහිත බෆර් එකක්ද, වෙනම රීම් සෙට් එකක්ද සහිතව පැමිණේ. නමුත් දැන් බොහෝ ඩොක්ටර් සනි වල ඉදිරිපසට  මෙම ඇනිවසරි බෆර් යොදා ඇති බව දක්නට ලැබේ.

පෙනුම අතින් ගත කල ලංකාවේ ඩොක්ටර් සනි වල එකිනෙකට වෙනස් වර්ග තිබේ. ඔබ ඩොක්ටර් සනි රථයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වටියි. මන්ද යත්, ඒවා බලු බැල්මට එකවර හඳුනා ගත නොහැකි නමුත්, පැහැදිලි වෙනසක් ඇති බව තේරෙන්නේ ටික දවසක් යන විටය. උදහරණයක් ලෙස, ඩොක්ටර් සනි වල පිටුපස ලයිට් වර්ග කිහිපයකින්ම පැමිණේ. ඉන් එක වර්ගයක ඩිකී දොරේ ලයිට් නොමැති, කොන් වල පමණක් ලයිට් ඇති වර්ගයයි. පහත රුපය බලන්න.

හාෆ් ලයිට්

අනෙක් වර්ගයේ ඩිකියට ලයිට් පැමිණෙන වර්ගයයි. එහිද වර්ග දෙකක් තිබේ. ඉන් එක වර්ගයක ලයිට් එක නම්බර් ප්ලේට් එක දක්වාම දිවෙයි. එය  Full Light එකයි. අනෙකෙහි ලයිට් එක දිවෙන්නේ ඩිකියේ යතුරු හිල දක්වා පමණයි. මේ දෙකම පෙනුමින් සමාන නමුත් මට නම් වඩාත් පෙනුම වැඩි Full Light එකේය.

යතුරු හිල දක්වා නොදිවෙන ෆුල් ලයිට්
යතුරු හිල දක්වා දිවෙන ෆුල් ලයිට්

මෙහි තවත් වෙනසක් තිබේ. එනම්, එක වර්ගයක කෙලවරේ සිග්නල් ලයිට් පැමිණේ. අනෙක් වර්ගයේ සිග්නල් ලයිට් පැමිණෙන්නේ බ්රේක් ලයිට් එකට ඇතුලට වන්නටය. එබැවින් හදිසියේ කැඩුණු බ්රේක් ලයිට් එකක් මාරු කිරීමේදී මේ සම්බන්ධව සැලකිලිමත් වන්න.

සිග්නල් ලයිට් කොණට වන්නට පිහිටයි
සිග්නල් ලයිට් මැදට වන්නට පිහිටයි

මේ ළඟදී මට අහන්නට ලැබුණු දෙයක් වනුයේ, දකුණු පස ලයිට් එකේ අඩුවක් වෙළඳපොලේ ඇති බවයි. එනම් ඕනේ වෙලාවක වම් පස ලයිට් එකක් මිලදී ගත හැකි වුවත්, දකුණු පස එකක් මිලදී ගැනීමට ටිකක් වෙහෙස විය යුතු බවයි.

තවත් සැලකිය යුතු වෙනසක් වන්නේ, ඉදිරිපස බෆර් එකයි. එහිද මාදිලි තුනක්  පැමිණේ. මින් ෆොග් ලයිට් සහිතව පැමිණෙන්නේ එක මාදිලියක පමණි. එය අනිවසරි මාදිලියට පැමිණෙන බෆර් එකයි.

ෆොග් ලයිට් සහිත ඇනිවසරි මොඩල් බෆර්
අනෙක් බෆර් මාදිලි
අනෙක් බෆර් මාදිලි

ඩොක්ටර් සනි වල පෙනුම සම්බන්ධව් කිව යුතු තවත් දෙයක් වනුයේ, ඇතැම් ඩොක්ටර් සනි වල බෆර් එකට පහලින් ලිප් (lip) එකක් පවතී. සමහර විටෙක ඔබ මේ සම්බන්ධව නොදැන සිටියත්, මෙම ලිප් එකක් සහිත ඒවා, අනෙක් ඒවාට වඩා මට නම් ලස්සනින් වැඩිය.

බෆර් එකට පහලින් ලිප් එකක් ඇත.
බෆර් එකට පහලින් ලිප් එකක් නැත

ඩොක්ටර් සනී රථ සමහරක් ඒවායේ පිටිපස අසන පටි වර්ග දෙකක් ඇත.

ඉන් එකක් 3 පොයින්ට් ලෙස හඳුන්වන වර්තමානයේ සෑම රථයකම දැකිය හැකි වර්ගයේ ඒවාය. අනෙක 2 පොයින්ට් ලෙස හඳුන්වන උරහිසට සපෝර්ට් එකක් නොමැති, ඉනට විතරක් බැඳෙන එවයි. මින් 3 පොයින්ට් වර්ගයේ ඒවායේ, සීට් බෙල්ට් එක, වහලට සම්බන්ද කණුවක සිට පහලට ඇදෙන අතර 2 පොයින්ට් වර්ගයේ ඒවායේ එසේ නොමැත. ඒවා සීට්  එක මත පමණක් ඇති අතර, ඉනෙන් පමණක් තද කර ගත යුතුය.

2 පොයින්ට් වර්ගයේ ඒවා 1990, 91 වැනි වර්ෂය වල නිපද වූ රථ වල පිටුපස අසුන්ද වලට යොදා ඇති බව දක්නට ලැබේ. නමුත් ඉදිරිපස සීට් බෙල්ට්ස් සෑම මාදිලියකම සමානය.

පිටුපස අසුනේ 3 දෙනෙක්ට ඉතා ලෙහෙසියෙන් සැප පහුවෙන් ඉඳගෙන යා හැකි අතර, එය 4 දෙනෙක්ට වුවද සහේ. ඇතැම් ඩොක්ටර් සනි රථ වල, පිටුපසට ආර්ම් රෙස්ට් එකක් පැමිණේ.

ඩොක්ටර් සනි වලට ඩෑෂ් බෝර්ඩ් එකේ ඔබට අවශ්‍ය භෝ උපාංග සවි කිරීමට ඕනෑ තරම් ඉඩ තිබේ. අඟල් 7 තිරයක් මෙය තුලට පහසුවෙන් රිංගවිය  හැකි අතර, එසේ සිදු කර අවසානයේත්, තවත් උපාංගයක් සවි කිරීමට පවා ඉඩ ඇත. දැන් බොහෝ ඩොක්ටර් සනි වල රිවර්ස් කැමරා, ඩ්‍රයිවින් වීඩියෝ රෙකොර්ඩර්, රියර් සෙන්සර් ආදිය සවිකර ඇත.

මෙහි දිකියේ ඕනෑ තරම් ඉඩකඩ ඇති අතර, පහසුවෙන් සබ්වුෆර් එකක් සමග තවත් බඩු මුට්ටු ගොඩක් තැබිය හැකිය.

මේවයේ ඉදිරිපස හා පිටුපසට, ස්පිකර් සෙට් පැමිණෙන අතර, ඉදිරිපස ඒවා අඟල් 6×4 ප්‍රමාණයෙන් යුක්ත වේ. නමුත් දැන් එම ස්පිකර් වැඩ කරනු ඇති සිතිය නොහැකිය.  නමුත්  අඟල් 5 රවුම් ස්පිකර් බ්‍රකට් යොදා පහසුවෙන් එතනට සවි කළ හැකිය.

මෙම රථ එකල තිබු ඒවායින් හොඳින් safety test සමත් වූ රථ වේ. නමුත් මේවයේ එයාර් බෑග් නොමැත. එසේ නමුත් බැඳ ඉතා ශක්තිමත් වන අතර, වර්තමයේ පවතින චීන, ඉන්දියන් හා ඇතැම් කොරියන් රථත් සමග සංසන්දනය කරන  කල ඉතා ආරක්‍ෂිත වේ.

නමුත් ඔබට ඊබේ (eBay) ගිණුමක් ඇත්නම්, මේ ඕනෑම එකක් අන්තර්ජාලය ඔස්සේ ඕඩර් කර නිවසටම ගෙන්වා ගැනීමට දැන් අවස්ථාව ඇත. කලින් කියුවක් මෙන් මෙය මෙක්සිකෝවේ නිෂ්පාදනය වන බැවින් අමතර කොටස් ඒ රටෙන් eBay සේවාව හරහා ගත හැකිය. මිට අමතරව යතුරු හිල්, කන්නාඩි, ඇතුලත අගුල් ආදිය ඊබේ එකේ ඕනෑ තරම් තිබේ.

ලංකාවේ ඕන තරම් ඩොක්ටර් සනී රථ තිබේ. නඩත්තු කටයුතු අවම වීම, අමතර කොටස් සුලභ වීම හා ගණන බෙහෙවින් අඩු වීම දියත්, කාන්තාවකට වුවද ඉතා පහසුවන් පැදවිය හැකි වීම යන කාරණා නිසා මෙම ඩොක්ටර් සනී රථවලට ලංකාව තුළ හොඳ වෙළඳපොළක් තිබෙන බවද පැවසිය හැක.

 


උපුටා ගැනීම හෝ මොන යම් ආකාරයකින් වෙනත් ස්ථානයක වෙබ් අඩවියේ අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම් වේ. සියලු හිමිකම් RodaHathara.com වෙබ් අඩවිය සතුය.

 

 

About Admin

Check Also

Lamborghini Veneno Roadster – Full Review in Sinhala

ලෝක ප්‍රකට ඉතාලියානු වාහන නිෂ්පාදක ලැම්බෝගිනි සමාගමේ අඩ සියවසක මතකය සමරනු වස් බිහිකළ සුපිරි මෝටර් …