ඉංග්‍රීසි බසින් ignition Coil ලෙසත් හෙළ භාෂාවෙන් ජ්වලන දඟරය ලෙසත් හඳුන්වන මෙම උපකරණය ට්රාන්ස්ෆොමරයක්ට සමාන වූ ක්‍රියාකාරිත්වයක් ඇති සරල උපකරණයකි. මෙය වාහනයක ජ්වලන පද්ධතියේ වැදගත් කාර්යයක් ඉටු කරයි. සිලින්ඩර වලට සැපයෙන පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය සඳහා අවැසි පුළිඟුව නිපදවීමට නම් වෝල්ට් විසි තිස් දහසක විදුලියක් ස්පාර්ක් ප්ලග් මගින් නිපදවිය යුතුය. එහෙත් වෝල්ට් 12 බැටරියකට නම් එය ඉබ්බෙකු අහසින් යාමට දකින සිහිනයකටත් වඩා ලොකු හීනයකි. ඒ අධි වෝල්ටීයතාවය නිපදවීමට තමා ඉග්නිෂන් කොයිල් එක අවශ්‍ය වනුයේ.
ඉග්නිෂන් කොයිල් එකක් කඩා බැලුවහොත්, එතුළ මෘදු යකඩ හරයක ඔතා ඇති ප්‍රාථමික දඟරයක් ද, ඒ ප්‍රථමික දඟරය වටා ඔතා ඇති ද්විත්ව දඟරයක් ද දැකිය හැකිය. ප්‍රථමික දඟරයේ පොට 350ක් ඇති විට ද්විත්ව දඟරයේ පොට 20 000ක් වැනි අති විශාල ගණනක් ඇත.
ප්‍රථමික දඟරය “ස්පර්ශක තුඩු” යුගලයක් හරහා ගොස් බැටරියට සම්බන්ධ වන විට ද්විත්ව දඟරය ස්පාර්ක් ප්ලග් වලට සම්බන්ධ වේ.( ඩිස්ට්‍රිබියුටරය හරහා ගොස්).
“ස්පර්ශක තුඩු” ස්පර්ශව ඇති විට ප්‍රාථමික දඟරය තුළින් විදුලි ධාරාවක් ගමන් කරමින් මෘදු යකඩ හරය අවට චුම්බක ක්ෂේත්රයක් ඇති කරයි. එවිටම ස්පර්ක්ෂ තුඩු ඈත් කල විට ප්‍රථමික දඟරයේ ධාරාව නැති වී අර මුලින් කියපු චුම්බක ක්ෂේත්රය නැති වී යයි. එවිටම ද්විත්ව දඟරයේ වෝල්ටීයතාවක් නොහොත් විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වේ. නමුත් මේ වෝල්ටීයතාවය ද්විත්ව දඟරයේ පොට ගණනට සමානුපතිකයි. එහි පොට විශාල ගණනක් ඇති නිසා වෝල්ට් 12 බැටරියකට කිට්ටු කරන්නවත් බැරි තරම් සද්ධන්ත වෝල්ටීයතාවක් ජනනය වේ. වෝල්ට් වලින් 20 000ක් පමණ වූ මෙම වෝල්ටීයතාවය ස්පාර්ක් ප්ලග් වලින් විදුලි පුළිඟුවක් ක්ෂණිකව ජනනය කරවන්නට තරම් ප්‍රමාණවත් වේ.
ඔය ආකාරයට ස්පර්ශක තුඩු ඇරෙන වැහෙන හැම විටෙකම ද්විතීයික පරිපථයේ අධි වොල්ටීයත්වක් ජනනය වේ.
මේ කියපු දඟර සහ මෘදු යකඩ හරය යන සියල්ලම ලෝහ භාජනයක් තුළ අඩංගු කර තිබේ. මේ අධික වෝල්ටීයතා ප්‍රේරණය නිසා එහි විශාල තාපයක් ජනනය විය හැකිය. ඒ තාපය ඉවත් කිරීමට, මේ බඳුන තෙල් වර්ගයකින් පුරවා ඇත. මේ තෙල් දඟර සඳහා පරිවාරකයක් ලෙස ද කටයුතු කරයි.
නූතන වාහනවල නම් ඩිස්ට්‍රිබියුටර් නැත. ඒ වෙනුවට ඉග්නිෂන් කොයිල් එකේ අධි වෝල්ටීයතාවය ඉලෙක්ට්‍රොනිකව පාලනය වී එක් එක් ස්පාර්ක් ප්ලග් එකට බෙදා හැරේ. එමෙන්ම ස්පාර්ක් ප්ලග් එකකට එක බැගින් වන්නට හෝ දෙකකට එක බැගින් වන්නට හෝ කුඩා ප්‍රමාණයේ ඉග්නිෂන් කොයිල් යොදා ගැනේ. මෙම නූතන ඉග්නිෂන් කොයිල් එක තැනකට සීමා නොවී එන්ජිම අවට විවිධ ස්ථානවල හෝ, ස්පාර්ක් ප්ලග් මත හෝ ස්ථානගත කළ හැකිය.