Breaking News
Home / Batteries / බැටරි බැහැපු වාහනයක් තවත් වාහනයකින් පණ ගන්වන ආකාරය
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

බැටරි බැහැපු වාහනයක් තවත් වාහනයකින් පණ ගන්වන ආකාරය

වාහනයක් භාවිතා කරන කෙනෙකුට ජිවිතේ එක පාරක් හරි අනිවාර්යයෙන්ම මුහුණ දෙන සිද්දියක් තමයි බැටරිය බැහැල තිබෙන විටෙක වාහනය ස්ටාර්ට් කරන්න සිද්ධ වෙන එක. මේක එතරම් අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසාම මේ ගැන වාහනයක් භාවිතා කරන ඕනෑම කෙනෙකු හොඳින් දැනගෙන සිටිය යුතුමයි.

අද අපි කතා කරන්නේ වෙන වාහනයක තියෙන බැටරියක් උපයෝගී කරගෙන, බැටරි බැහැපු වාහනයක් පණ ගන්වන නිවැරදි ආකාරය කුමක්ද යන්න සම්බන්ධවයි. ඔබ මේ ක්‍රමය පිළිබන්ධව දැනුවත්ව සිටියත්, මෙතන ඔබ නොදන්නා තව පොඩි පොඩි දේවලුත් තියෙන්න පුළුවන් බැවින් දිගටම කියවන එක වැදගත් වෙන්න පුළුවන්.

jumpstart a car

වාහනයේ යතුර කරකැවූ පමණින්ම වාහනය ස්ටාර්ට් නොවීම බැටරි බැසීම නිසා විතරක්ම සිදු නොවේ. එයට හේතු බොහෝ ගණනක් තිබේ. බැටරි කේබල් බුරුල් වීම, යතුරු කට ගෙවී තිබීම, ස්ටාර්ටර් මෝටරයේ දෝෂ තිබීම වැනි හේතු මේ සඳහා බලපායි. ඒ නිසා වෙනත් බැටරියක් භාවිතයෙන් වාහනය පණ ගැන්වවීමට ප්‍රථම, ඇත්තටම මෝටර් රථයේ බැටරිය බැස තිබේ දැයි පරික්ෂා කළ යුතුය.

ඒ සඳහා හෙඩ් ලයිට් ක්‍රියාත්මක කර ඒවායේ එලිය අඩුදැයි බලන්න. එමෙන්ම  හෝන් එකේ සහ රේඩියෝ එකෙ ශබ්යද අඩු බවද, වයිපර් ක්‍රියාත්මක වෙන වේගය අඩු බවද ඇත්තටම බැටරිය බැස ඇති බවට සාක්ෂි වේ. එමෙන්ම යතුර කරකැවූ ස්ටාර්ට මෝටරය වදින්නේ ඉතා සෙමින් නම් එය ද බැටරිය බැස ඇති බවට ලකුණක් වේ.

බොනට් එක විවෘත කර  බැටරිය සුදානම් කර ගැනීම. 

බොහෝ මෝටර් රථ වල බැටරිය ඇත්තේ ඉදිරිපස බොනට් එක තුලය. බොනට් එක විවෘත කර ගෙන බැටරියේ අග්‍ර හඳුනා ගන්න. ධන සහ ඍණ අග්‍රයන්  බැටරියේ  සලකුණු කර ඇති අතර බොහෝවිට ධන අග්‍රයට රතු පාට කේබල් එකක්ද, ඍණ අග්‍රයට කළු පාට කේබල් එකක්ද සම්බන්ධ වේ.  දුර්වල රථය අසලට හොඳ මෝටර් රථය ගෙන ඒමට ප්‍රථමයෙන් මෝටර් රථ දෙකේම බැටරි පවතින ස්ථාන ගැන ඔබට අවබෝධයක් තිබිය යුතුය.

අනෙක් හොඳ රථය දුර්වල රථය අසලින් නවත්වන්න. මෝටර් රථ දෙකේ බැටරි දෙක අතර අඩුම දුරක් පවතින සේ හොඳ රථය, දුර්වල රථයට ඉතා ආසන්නව නවත්වන්න. නමුත් කිසිවිටෙක රථ දෙක එකට නොගෑවිය යුතුය. එසේ ගෑවේ  නම්, බැටරි දෙක එකට සම්බන්ධ කිරීමේදී ඔබට විදුලි සැර වැදීමට සහ අධිකව ස්පාර්ක් වීමට බොහෝ ඉඩකඩ ඇත. එබැවින් රථ දෙක අතර අඩියක පමණ දුරක් තබා ගත යුතුය.

මෝටර් රථ දෙකේම සවි කර ඇති විදුලි උපකරණ (ජංගම දුරකතම, GPS) හැකි තාක් ගලවා, සියලුම විදුලි පහන් ක්‍රියා විරහිත කර තබන්න. නැත්නම්, වයර් ෂෝර්ට් වීමකදී ඒවා පිළිස්සීමට ඉඩ ඇත.

ආරක්ෂක උපාංග පැළඳ ගැනීම.

බැටරි තුළ විශාල වශයෙන් සල්ෆියුරික් අම්ලය අඩංගු වේ. හදිසි පිපිරීමකදී අම්ලය ගෑවී ඔබව පිළිස්සීමට ඉඩ ඇති නිසා, goggles සහ අත් දිග ෂර්ට්, දිග කලිසම් ආදියෙන්ඔ ඔබ සැරසී සිටිය යුතු වේ. එමෙන්ම බැටරි අම්ලය කාන්දු වීම්, පලුදී වීම් තිබේ නම් කිසිවිටෙක මෙසේ ස්ටාර්ට් කිරීමට උත්සාහ නොකළ යුතුය.

ජම්පර් කේබල් සුදානම් කර ගැනීම.

ජම්පර් කේබල් සාමාන්‍යයෙන් රතු කළු වර්ණයන්ගෙන් යුක්ත වේ. ඒවා පැටලිලි නැති වන සේ හොඳින් දිග හැර ගන්න. එමෙන්ම ඒවා සම්බන්ධ කිරීමේදී වාහනයේ චලනය වන බෙල්ට්, ෆෑන් කිසිවක ඒවා ස්පර්ශව නොතිබිය  යුතුය. නැතහොත් වාහනය පණ ගැන්වීමේදී, ජම්පර් කේබල් ඒවා වටා එතී එම අංගෝපාංග වලට හානි විය හැකිය.

ජප්මර් කේබල් පහත ආකාරයට සම්බන්ධ කර ගන්න.

  • රතු කේබල් එකේ එක කොනක් දුර්වල බැටරියේ ධන අග්‍රයටටත්
  • අනෙක් කොන හොඳ බැටරියේ ධන අග්‍රයටත් සම්බන්ධ කරන්න
  • කළු කේබල් එකේ එක කොනක් හොඳ බැටරියේ ඍණ අග්‍රයට සම්බන්ධ කරන්න.
  • අනෙක් කොන දුර්වල වාහනයේ බැටරිය චැසියට සම්බන්ධව ඇති බෝල්ට් ඇණයට හෝ එන්ජිමේ වෙනත් ලෝහ කොටසක් වෙතට සම්බන්ධ කරන්න. කිසි විටෙක මෙය දුර්වල බැටරියේ ඍණ අග්‍රයට කෙලින්ම සම්බන්ධ නොකළ යුතුය.

නැතහොත් එතැන ස්පාර්ක් වී දුර්වල බැටරිය පුපුරා යා හැකිය.

ජම්පර් කේබල් එන්ජිමේ වෙනත් කොටස් වල පැටලීමට ඉඩ නැති බව නැවත වරක් තහවුරු කරගන්න.

වාහන පණගැන්වීම.

දැන් ප්‍රථමයෙන්ම හොඳ වාහනය පණ ගන්වා මිනිත්තු දෙකක් පමණ තබන්න. ඇක්සලේටරය පාගා එන්ජිම  යාන්තම් රේස් කර RPM එක 2000ක් ප්‍රමාණයේ වගේ විනාඩි 10ක් පමණ තබන්න. එන්ජිම ගොඩාක් රේස් කර පලියට බැටරිය ඉක්මනින් රේස් වෙන්නේ නැති බව මතක තබාගන්න. මේ විදියට තිබ්බම දුර්වල බැටරිය යම් පමණකට ආරෝපණය වේවි. මන්ද, වාහනය පණගන්වනකොට කරන්ට් එක අදින්නේ බැටරියෙන් මිසක් කේබල්ස් වලින් නොවන බැවින් ප්‍රථමයෙන්  දුර්වල බැටරිය ආරෝපණය කරගෙන සිටිය යුතුයි.

මීළඟට දුර්වල වාහනයේ හෙඩ් ලයිට් ක්‍රියාත්මක කර ඒවා හොඳින් දීප්තිමත්ව ක්‍රියා කරනවා දැයි බැලීමෙන් බැටරිය ආරෝපණය වී ඇති බවට තහවුරු කරගන්න. ඒවා නිසි ලෙස වැඩ නම්, ඒ සියල්ලම නැවතත් ක්‍රියා විරහිත කර එන්ජිම පණ ගන්වන්න. එන්ජිම තරමක් වෙලා ගොස් හෝ ස්ටාර්ට් විය යුතුයි. එසේ නොවුනේ නම්, නැවතත් විනාඩි 10ක් පමණ හොඳ වාහනය ස්ටාර්ට් එකේ තිබෙන්න ඇර බැටරිය ආරෝපණය  වූ පසුව නැවතත් ස්ටාර්ට් කර බලන්න. මන්ද, එක පාරක් ස්ටාර්ට් කල පසු කරන්ට් එක සියල්ලම වගේ ඒ සඳහා ඇදගන්නා බැවින් බැටරිය නැවත වතාවක් බසිනු ලැබේ. ඒ බැහැපු එක නැවතත් ආරෝපණය කිරීමට නැවතත් විනාඩි කිහිපයක් ස්ටාර්ට් එකේ තැබිය යුතුයි.

දැන් නම් වාහනේ ස්ටාර්ට් විය යුතුයි. එහෙම උනේ නැත්නම් කාර්මිකයෙකුගේ උපකාරය ඔබට අවශ්‍ය වේ.

ජම්පර් කේබල් ගැලවීම.

කේබල් ගැලවිය යුත්තේ සවි  කළ ආකාරයේ විරුද්ධ පැත්තටයි. ඒ වගේම ඒවා එකිනෙක නො ගෑවෙන සේ තැබීමටත් වග බල ගත යුතුයි. 

  • කළු කේබල් එකේ දුර්වල වාහනයේ චැසියට සම්බන්ධ කල කොන ප්‍රථමයෙන් ගලවන්න. 
  • ඊට පසුව එහි  අනිත් කොන හොඳ බැටරියේ අග්‍රයෙන් ගලවන්න. 
  • දැන් රතු කේබල් එක හොඳ බැටරියේ ධන අග්‍රයෙන්  ගලවන්න.
  • එමෙන්ම එය දුර්වල බැටරියේ ධන අග්‍රයෙන් ද ගලවන්න.

කේබල් ටික ගැලවූ පමණින්ම කාර්යය අවසාන වන්නේ නැත. දුර්වල මෝටර් රථය විනාඩි 15-20ක් පමණ  ස්ටාර්ට් එකේ තබන්න. එවිට එහි බැටරිය ප්‍රමාණවත් තරමට ආරෝපණය වේ. විනාඩි 20 අවසානයේ වාහනය  ක්‍රියා විරහිත කර පණ හදනවිට  හදනකොට නැවතත් බැටරිය බස තිබේ නම් බැටරියේ කාලය අවසන් වේ ඇත එසේත් නැත්නම් බැටරිය නිසි ලෙස අරෝපණය කිරීමට නොහැකි වන  තරමට ඕල්ටර්නේටරයේ ප්‍රශ්නයක් තිබෙන්නට ද පුළුවන.

දේශාන් වලල්ලාවිට 

මෙම ලිපිය හෝ වෙබ් අඩවියේ සඳහන් කර ඇති කිසිදු දෙයක් උපුටා ගැනීම හෝ මොන යම් ආකාරයකින් වෙනත් මුද්‍රිත හෝ ඉලෙක්ටොනික මාධ්‍යයකවෙබ් අඩවියේ අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම් වේ. එසේ කරන්නන් හට තරාතිරම නොබලා බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ. සියලු හිමිකම් RodaHathara.com වෙබ් අඩවිය සතුය.

 

විශේෂ දැනුම් දීමයි

අප වෙබ් අඩවියේ 2017 වර්ෂයේ අප්‍රේල් 5 වැනි දින  පල කළ මෙම ලිපිය “නිර්මාණි බීකොළඹගේ” නම් තැනැත්තියක් විසින් ඇයගේ නිර්මාණයක් ලෙස 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා ලංකාදීප පත්‍රයේ ඉතා කූට සහ පහත් ලෙස කිසිදු ලැජ්ජාවකින් තොරව පළ කර ඇත. සියලු ජනමාධ්‍ය සදාචාරාත්මක අයිතීන් සහ ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත කඩ කරමින් සිදු කළ මෙම පහත් ක්‍රියාවට විරුද්ධව “නිර්මාණි බීකොළඹගේ” නම් තැනැත්තියට එරෙහිව අප දැඩි නීතිමය ක්‍රියා මාර්ග වලට ඉතා ඉක්මනින් එළඹෙන බව මෙයින් දැනුම් දෙන්නෙමු. 

 

 

 

 

Facebook Comments

About Admin

Check Also

battery maintenance

බැටරි නඩත්තුව නිසි ලෙස කිරීමට උපදෙස්

කාර් බැටරිය කියන්නේ වාහනේක තියෙන නැතුවම බැරි අංගයක්. වාහනය පන ගන්වන්න, පිස්ටන ක්‍රියාවේදී අවශ්‍ය දහනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *