Breaking News
Home / Mechanical Knowledge / එන්ජිම නිතර නිතර රත් වීමට හේතු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

එන්ජිම නිතර නිතර රත් වීමට හේතු

එන්ජිමක් නිතරම රත් වෙනවා කියන්නේ  කොහොමටවත් හොඳ දෙයක් නෙමෙයි. මේ රත්විල්ල ගණන් නොගෙන හිටියොත් කෙලවර වෙන්නේ ලක්ෂ ගාණක සල්ලි වලට කෙලවල. ඒ නිසාම තමයි මීටර් බෝර්ඩ් එකේ වෙනම උෂ්නත්වමාපකයක් සවි කරලා තියෙන්නේ. ඇයි එන්ජිමට කෙලවෙනවා කියුවේ? මොකද, මේ හීට් වීම කාලයත් එක්ක දිගින් දිගටම සිද්ද උනොත් හෙඩ් ගෑස්කට් ඉතා ඉක්මනින් පිච්චෙන්න පුළුවන්. ගැස්කට් එකක් එතරම් ගණන් නැති උනත්, ගැස්කට් දාන්න කලින්  හෙඩ් එක, බ්ලොක් එක ගලවාගෙන ගිහින් ආපහු ඔප මට්ටම් කරලා ගන්නවා කියන්නේ ලොකු රස්තියාදුවක් වගේම ලොකු වියදමක්. ඒ විතරක් නෙමෙයි, හදිසියේ වත් පිස්ටන් එහෙම ඇද වෙලා නම් ඉතින් බඩු පැකට්. සමහර විට අලුතින්ම එන්ජිමක් තියන්න සිද්ද වෙන්නත් පුළුවන්. ඉතින් මොකද මේ වාහන හිතා ගන්න බැරි විදියට හීට් වෙන්නේ? අපි බලමු මොනවද මේකට තියෙන්න පුළුවන් ප්‍රධානම හේතු කියල.

1. රේඩියේටර් කූලන්ට් ප්‍රමාණය අඩු වීම.

ගොඩක් වෙලාවට මේක තමයි එන්ජිම හීට් වනවාට බලපාන ප්‍රධානතම සහ සරලම හේතුව.  රේඩියේටරයේ තිබෙන කූලන්ට් එක කියල හඳුන්වන ද්‍රවයක්. මෙය එන්ජිම සහ රේඩියෙටරය අතර සංසරණය වෙනවා. එන්ජිම සිසිල් කරන්න නම් ඒ තුලදී නිපදවෙන අධික තාපය එලියට දාන්න අවශ්‍යයි නේ.  ඒ සඳහා කරන්නේ මේ කූලන්ට් එක එන්ජිම හරහා යවලා ඒ තාපය ලබාගෙන නැවත එය රේඩියේටර් එක තුළින් යනකොට ඒ තාපය එලියට පිට කරන එක. මේක හරියාකාරව වෙන්න නම් ප්‍රමාණවත් රේඩියේටර් කූලන්ට් ප්‍රමාණයක් රේඩියේටරයේ තිබෙන්න ඕනේ. ඒ නිසා එන්ජිම වෙනදාට වඩා රත් වෙනවා නම් මුලින්ම බලන්න ඕනේ ප්‍රමාණවත් තරම කූලන්ට් රේඩියෙටරය තුල තිබෙනවද කියල.

2. රේඩියේටර් ෆෑන් එක වැඩ නොකිරීම.

රේඩියේටරයේ ෆෑන් එක වෙලාවට වැඩ කරන්නේ නැත්නම් ඒකත් එන්ජිම හීට් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. වාහනය නවත්වල තියෙන විට  සෙමෙන් ධාවනය වන විට රේඩියේටරය  හරහා ගමන් කරන්නේ බොහොම අඩු ප්‍රමාණයක් වාත ධාරාවක්. මේ වාත ධාරාව රේඩියේටරය සිසිල් කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා, ෆෑන් එක මඟින් කෘතිමව රේඩියෙටරය හරහා වාත ධාරාවක් ඇති කරලා, එය සිසිල් කරන්න උදව් කරනවා. ඔයාල දැකල ඇති සමහර හයි වේ බස් වල එහෙම මේ රේඩියෙටරය ඉස්සරහ තියෙන කවරේ විවෘත කර ගෙන යන්නේ. මේ ෆෑන් එක වැඩ කරනවද නැද්ද කියලා අපිට චෙක් කරන්නත් විදියක් තිබෙනවා.

ඒ තමයි, මුලින්ම බොනට් එක ඇරලා, ඒසී එක ඕෆ් කරලා වාහනේ ස්ටාර්ට් කරන්න. දැන් බලන්න ෆෑන් එක කරකැවෙනවාද  කියල. එන්ජිම එතරම් රත් වෙලා නැත්නම් ෆෑන් එක කැරකෙන්නේ නැහැ. දැන් ඒසී එක ඔන් කරන්න. එතකොට ෆෑන් එක කැරකෙන්න ඕනේ. මොකද ගොඩක් වාහනවල ඒසී එක දැම්මම ෆෑන් එක අනිවාර්යෙන්ම කැරකෙනවා. ඒ සඳහා එන්ජිමේ උෂ්ණත්වය අදාළ නැහැ. ඔන්න එතකොටත් ෆෑන් එක වැඩ නැත්නම් ෆෑන් එකේ හෝ එයට විදුලිය දෙන වයර් වල හෝ අවුලක් තියෙන්න ඕනේ. මේක හරියටම ෂුවර් කරලා දැනගන්න මෙහෙමත් කරලා බලන්න.  

බොනට් එක ඇරලා  වාහනය ස්ටාර්ට් කරලා තියලා උෂ්නත්වමාපකයට ඇහැගහගෙන ඉන්න. ඒසී එකත් ඕෆ් කරලා තියන්න. එතකොට ඔයාට දැක ගන්න පුළුවන් වෙයි, උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා කියල. කටුව භාගෙට වඩා පනින කොටත්, රේඩියෙටරයට සවි කරලා තියෙන ෆෑන් එක වැඩ කරන්නේ නැත්නම් ඔන්න ෆෑන් එකේ අවුලක් තියෙනවා කියල කියන්න පුලුවන්. මේකටත් හේතු දෙකක් තියෙන්නේ පුළුවන්.

ෆෑන් එක පිච්චිලා තිබීම.

ෆෑන් එකේ මෝටරේ මොන හේතුවක් නිසා හෝ පිච්චිලා තිබේ නම් ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. ඒක මේ විදියට පරික්ෂා කරන්න පුළුවන්. රේඩියේටර් ෆෑන් ස්විච් එක හොයාගෙන ඒක වයර් හානස් එකෙන් විසන්ධි කරන්න. ඊට පස්සේ  ජම්පර් කේබල් දෙකක් අරන් එකේ අග්‍ර දෙක දෙක බැටරියටත්, ෆෑන් එකේ අග්‍ර වලටත් සවි කරන්න. ඔන්න එතකොට ෆෑන් එක ඔන් වෙන්නේ නැත්නම්, ෆෑන් එකේ අවුලක් තියෙනවා. ෆෑන් එක ඔන් වෙනවනම්, අවුල තියෙන්නේ වෙන තැනක. සමහර විට ස්විච් එකේ වෙන්නත් පුළුවන්.

ෆෑන් ස්විච් එක වැඩ නොකිරීම.

ෆෑන් එකේ ස්විච් එක හදල තියෙන්නේ එන්ජිම එක්තරා උෂ්ණත්වයකට ආවම ඉබේම ෆෑන් එක ඔන් වෙන විදියට. මේ ස්විච් එක කැඩිලා නම් එන්ජිම නියමිත් උෂ්ණත්වයට ආවත් ෆෑන් එක ඔන් වෙන්නේ නැහැ. සමහර විට මේකේ සෙන්සර් පිච්චිලා තියෙන්න පුළුවන්.ඉස්සෙල්ල කියුව වගේ මේ වගේ වෙලාවක එසී ඔන් කරාම ෆෑන් එක වැඩ කරනවා නම් මේ ෆෑන් ස්විච් එකේ තමයි අවුල තියෙන්නේ.

3. තර්මොස්ටැට් වැල්ව් එක විවෘත නොවීම.

මේ තර්මොස්ටැට් එක තිබෙන්නේ රේඩියේටරේ සහ එන්ජිම අතර තැනක. එකෙන් කරන්නේ එන්ජිම නිසි උෂ්ණත්වයට එනතුරු, රේඩියේටර් කූලන්ට් එක එන්ජිම තුලට ගලන එක වලක්වන එක. ඒ කියන්නේ එන්ජිම නිසි ලෙස  රත් උනාම තමයි, කූලන්ට් එක එන්ජිම තුලට එන්නේ. එත්, මේක අධික උෂ්ණත්වයේදී පවා විවෘත නොවුනොත්, එන්ජිම කොච්චර රත් උනත් කූලන්ට් එකට ඒ හරහා යාගන්න බැරුව එන්ජිම දිගින් දිගිටම රත් වෙන්න ගන්නවා. ඒ නිසා මේක කාර්මිකයෙකු ලවා පරික්ෂා කරගනන් ඕන දෙයක්.

4. ෆෑන් බෙල්ට් එක කැඩිලා තිබීම.

දැන් ගොඩක් වාහනවල තියෙන්නේ සෙන්සර් වලින් වැඩ කරන ඉලෙක්ට්‍රික් ෆෑන් එකත් උනත්, ඉස්සර ආපු එන්ජින් වලත්, වත්මන් සමහරක් එන්ජින් වලත් තියෙන්නේ එන්ජිමේ ඉඳන් බෙල්ට් එකකින් වැඩ කරන ෆෑන් එකක්. මේ බෙල්ට් එක කැඩුනාම ඉතින් මේ ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. එත් මේක දාන එක ඉලෙක්ට්‍රික් ෆෑන් එකකට වඩා පහසුයි. 

5. රේඩියේටරය අවහිර වෙලා තිබීම.

ඔබේ වාහනය කිලෝ මීටර් 50,000කට වඩා දුවල නම්, රේඩියේටරය තුළ කාලයත් එක්ක අවහිරතා ඇති වෙලා තියෙන්න පුළුවන්. එතකොට රේඩියේටර් කූලන්ට් එකට හරියට සංසරණය වෙන්න නොහැකි වෙනවා. ඒ නිසා අවුරුද්දකට වතාවක් වත්, රේඩියේටරය, රේඩියේටර් කාර්මිකයෙකු ලවා පරික්ෂා කරගෙන ෆ්ලශ්  කරගන්න. 

කලින් කියුව වගේ හීට් වෙනවා කියන්නේ එන්ජිමකට කිසි සේත්ම හොඳ දෙයක් නෙමෙයි. සම්පුර්ණයෙන්ම හීට් එක නැග්ගේ නැති උනත්, භාගෙට වඩා පැන්නොත් ගැස්කට් යන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, කාලයක් මේක වෙනකොට හෙඩ් එක, බ්ලොක් එක එහෙම පුපුරන්නත් පුළුවන්. එතකොට ඉතින් එන්ජිමම අමුතුවෙන් හදන්න හෝ අලුතෙන්ම එන්ජිමක් තියන්න පවා සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලෙත් එන්ජිම හීට් වෙන එක අවම කරගන්න හැකි සෑම උපායක්ම ගන්න ඕනේ. උදාහරණයක් විදියට එන්ජින් ඔයිල් පවා නිසි ප්‍රමාණයන්ගෙන් තියෙන්න ඕනේ. 

ඉහත සඳහන් කරපු දෝෂයන් හදන්න වැය වෙන්නේ, එන්ජිම අමුතුවෙන් හදන්න වැය වෙන ප්‍රමාණයත් එක්ක බැලුවම බොහොම සුළු ගාණක්. ඒ නිසා හැකි සෑම විටෙකම ඒ ඒ දෝෂයන් තිබෙන නම් ඒවා ඉතා ඉක්මනින් පිළිසකර කර ගන්න කියන එක තමයි අපේ ඔවදන.

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *