Breaking News
Home / Exterior / වාහනේ පාර්ක් කරන්නේ අව්වේ ද?
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

වාහනේ පාර්ක් කරන්නේ අව්වේ ද?

විවිධාකාරයේ හේතුන් මත අපට වාහනේ අව්ව වැස්ස නොබලා නවත්වලා දුවන්න වෙන අවස්ථා එමටයි. සමහරක් උදවියට දීර්ඝ කාලීනව වාහනේ අවුවේ නවත්වන්න වෙනවා. වැඩ කරන ආයතන වල ඉඩ පහසුකම් නැති වීම, පාර්ක් එකක් තිබුනට එකේ ගස්ලබු ගහක් තරම් දෙයක් වත් නොතිබීම වගේ දේවල් නිසා දවස තිස්සෙම වාහනේ අවුවේ කරවේවි තියන්න සිදුවෙනවා. අවුවක නවත්වන වාහනයක ඇතුලත උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ක් දක්වාත්, පිටත් උෂ්ණත්වය සෙලිසියස් 90ක් දක්වාත් වැඩි වෙන්න පුලුවන්. වතුර නටන්නෙත් සෙල්සියස් 100දි. එහෙනම් හිතාගන්න පුළුවන්නේ රත්වීමේ තරම? හැකි සෑම විටෙකම මේ රත් වීම අඩු කරගන්න පුළුවන් නම් එක වාහනේට කරන ලොකු සැලකීමක්.

ඇත්තටම බැලුවොත් මේක කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. නිකමට නම් අපිට හිතෙන්නේ පේන්ට් එකට විතරක් මේකෙන් සවුත්තු වේවි කියල. නමුත් පේන්ට් එක විතරක් නෙමෙයි, එන්ජිමේ තියෙන විවිධාකාරයේ තෙල් ජාති වලටත් මේකෙන් බලප්පාම් එල්ල වෙනවා. කොටින්ම කියුවොත් වාහනේ අංගෝපාංග ගණනාවකටම මේ දෙයින් හානි වෙනවා. ඉතින් අද අපි කියන්න යන්නේ හැමදාම වාහනේ අවුවේ නවත්වන අයට ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ගැන..

හැකි හැම විටෙකම ගහක් යට, ලොකු ගොඩනැගිල්ලක් යට නවත්වන්න – සමහර අය බයයි ගස් යට වාහන නවත්වන්න අතු කඩන් වැටෙයි කියල. එත් ඉතින් මහා ලොකු හුළඟක්, වැස්සක් එහෙම නැත්නම් පොල් ගහක් ඇරෙන්න වෙන ගහක් යට වාහනයක් නවත්වන්න බය වෙන්න එපා. ගහෙන් ලැබෙන සෙවනින්, සිසිලසෙන් වාහනයට අවුවෙන් සිදුවෙන හානිය සෑහෙන්න දුරකට අඩු කරනු ලබනවා. ඒ නිසා, හැකි කොයි වෙලාවෙත් ගහක් ආසන්නයට ගෙනිහින් වාහනය නවත්වන්න.

පරවර්තික පැනල සවි කරලා බහින්න. – ඉදිරිපස සහ පිටුපස වීදුරුවලට සවි කරන්න පුළුවන් මේ රිදී පාට පැනල වලට පුළුවන් වටෙන් හිරු රශ්මිය නැවතත් පරාවර්තනය කරලා යවන්න. එතකොට ඇතුලට වැටෙන අවුව සහ හිරු එලිය සෑහෙන්න අඩු වෙනවා. ඩෑෂ්බෝර්ඩ් එකට එකට සහ ආසන අවුවට රත් වෙලා ඉරි යන එක එහෙම මේකෙන් සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.

වීදුරු සෙන්ටි මීටර් බාගයක් වත් ඇරලා යන්න. – වාහනේ අවුවේ සෑහෙන්න වෙලා තියෙන කොට ඇතුලේ තියෙන වාතය රත් වෙනවා. ඒවා එලියට යන්න පුළුවන් වෙන්න ඕන. අපි උනත් අවුවේ නවත්වල තියෙන වාහනයක ඉඳගෙන ඉන්නකොට වීදුරුවක් හරි ඇරගන්න බලන්නේ ඇඟට සිසිලසක් දැනෙන නිසා. අනෙක් දේ තමයි අවුවට වීදුරු ප්‍රසාරණය වෙලා  පුපුරන්න පුළුවන්. ඒ නිසා එලියට බහින්න කලින් වීදුරු හතර කාටවත් නොපෙනෙන්න පොඩ්ඩක් පාත් කරලා යන්න. හොරෙක් අරන් යාවි කියල බය වෙන්න එපා. හොරු ඕන තරම් ක්‍රම දන්නවා දොරවල් ඇර ගන්න. වීදුරු සෙන්ටි මීටර් බාගෙකින් පාත් කරා කියල කාටවත් එක මීටර් වෙන්නේ නෑ.

වීදුරු ටින්ට් කරන්න – වීදුරු කළු පාටට ටින්ට් කරාම ඇතුලට හිරු රශ්මිය එනවා ගොඩක් අඩුයි. බස් වල එහෙම ගිහිල්ල තියෙනවනම් දන්නවා ඇති කළු නොකරපු වීදුරුවක් ගාව අවුව දවසක සෙට් වුනොත් තියෙන අමාරුව. වීදුරු කළු කරන්නේ ඇතුලේ සිද්ද වෙන දේවල් පිටට නොපෙනෙන්න විතරක්මත් නෙමෙයි.  අවුවෙන් බේරෙන්නත් එක්කයි. අනෙක් දේ තමයි කළු කරපු වීදුරු වලින් වායු සමීකරණයට වෙන යහපත් බලපෑම. ඇතුලට අවුව වැටෙන්නේ නැති නිසා ඉක්මනින් වාහනය සිසිල් වීමකුත් සිද්ද වෙන බව අමතක කරන්න එපා.

කාර් එක අවුරුද්දට දෙපාරක්වත් වැක්ස් කරන්න – වැක්ස් කරන එක පේන්ට් එකට බොහොම හොඳයි. එමෙන්ම වාහනේ දිස්නය ද වැඩි වෙන්වා. පේන්ට් එක උඩින් වැක්ස් එකක් වැදුනාම අවුවෙන් එන අහිතකර කිරණ වලින් ලොකු ආරක්ෂාවක් වාහනයට ලැබෙනවා.

ප්‍රෝටෙක්ටිව් ෆිල්ම් එකක් අලවගන්න – දැන් තියෙනව පටලයක් වගේ තුනී ප්ලාස්ටික් වගේ ද්‍රව්‍යක්. මේක වාහනේ පේන්ට් එකට උඩින් අලවන්න පුලුවන්. මේකෙන් පේන්ට් එක සීරීම් වලින් ආරක්ෂා කරනවා වගේම, අවුව සහ වැස්සෙන් ද ආරක්ෂා කරනු ලබනවා. මේක ටිකක් ගණන්. නමුත් මේකන් ලැබෙන දීර්ගකාලීන ප්‍රතිලාභ බැලුවාම ගාන මොනවද කියල හිතෙනවා. ඔය කාර් ඩීටේලින් කරන තැනකින් අහල බැලුවනම් ගන්න පුළුවන්.

බැටරි වතුර නිතර පරික්ෂා කරන්න – වාහනේ තියෙන්නේ සීල් බැටරියක් නෙමෙයි නම් බැටරි වතුර සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වාෂ්ප වෙලා යන්න තියෙන හැකියාව වැඩියි. අනෙක වායු සමීකරණයත් වැඩියෙන් භාවිතා වෙන නිසා බැටරියෙන් අදින  කරන්ට් එකත් වැඩියි. ඒ නිසා බැටරි ධාරිතාවයත් ගොඩක් ඉක්මනින් අඩු වෙනවා.  ඒ නිසා මාසෙකට දෙසැරයක්වත් බැටරි වතුර පරික්ෂා කරන්න.

ටයර් පීඩනය  නිතර පරීක්ෂා  කරන්න – අවුවට වෑල්ව රත් වෙලා ටයර් වලින් හුලන් යන්නත් පුළුවන්. ඒ නිසා සතියකට සැරයක්වත් ටයර් වල හුලන් ගානට තියෙනවද කියල පරික්ෂා කරගන්න.

රේඩියේටර් කූලන්ට් සහ අනිකුත් ද්‍රව වර්ග නිතර පරිෂා කරන්න –   රේඩියේටර් කූලන්ට් සහ වාහනේ තිබෙන විවිධ ද්‍රව වර්ග ත් අපි නොහිතන විදියට වාෂ්ප වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඒවා හැකි සෑම විටෙකම හොඳින් පරික්ෂා කරලා අඩු වැඩිය පුරවා ගන්න.

ඔන්න ඔය ටික තමයි අද අපිට කියන්න ඕන උනේ. ඉස්සර අවුවේ නවත්වුවට මීට පස්සේ නම් හැකි හැම වෙලාවකම සෙවණක නවත්වන්න පුරුදු වෙන්න.

 


දේශාන් වලල්ලාවිට

උපුටා ගැනීම හෝ මොන යම් ආකාරයකින් වෙනත් ස්ථානයක වෙබ් අඩවියේ අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම් වේ. සියලු හිමිකම් RodaHathara.com වෙබ් අඩවිය සතුය.

Facebook Comments

About Admin

Check Also

how to change radiator coolant

රේඩියෙටර් සිසිලනකාරකය ගෙදරදීම මාරු කරමු.

වාහනයක එන්ජිම ඕනවට වඩා රත් වෙන්න නොදී හරි උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න දායක වන ප්‍රධානම උපාංගය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *